ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු සැකකරුවන් නිදහස්

ඇවන්ට්ගාඩ් නඩුවේ චෝදනාවලින් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්

by Staff writer 23-09-2019 | 11:55 AM

COLOMBO ( News 1st ) - ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුවේ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා ය.

ඒ, අභියාචනාධිකරණය විසින් පසුගිය 12 වනදා නිකුත් කරන ලද තීන්දුව අනුව ය. එම සැකකරුවන් 8 දෙනා චෝදනාවලින් නිදහස් කරන බව කියා සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණයේ තීන්දුව අනුව මෙම සැකකරුවන් 8 දෙනාට එරෙහිව නැවත නඩුවක් පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කිසිදු බාධාවක් නොමැති බව ය. අද දින ගෝඨාභය රාජපක්ෂ, සෝමතිලක දිසානායක, ජයරත්න පෙරේරා, සිසිර කුමාර කොළඹගේ යන සැකකරුවන් 4 දෙනා පමණක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය හ. අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් 4 දෙනාට එම තීන්දුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීම ඔවුන්ගේ නීතිඥවරු  භාර ගත්හ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දෙනු ලැබුවේ, කෙසේ වෙතත් එම නඩුවේ 8 වන සැකකාරිය ලෙස නම් කර ඇති අධිකරණය අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න නමැත්තිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඇයව අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉවත් කිරීමට පියවර ගන්නා බව ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් ය.