21 ප්‍රහාරය: පංච පුද්ගල ජනපති කොමිසමක්

21 ප්‍රහාරය: නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක්

by Staff writer 22-09-2019 | 8:37 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ.

ඒ, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙනි. කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම් අධිකාරී යන මහත්ම මහත්මීන් ය. අප්‍රේල් 21 ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ යැයි සැලකෙන රාජ්‍ය සේවකයින්, නිලධාරීන් සහ ඒ පිළිබඳ දැන සිටි පුද්ගලයින් නොතකා හැරීම සම්බන්ධයෙන් බරපතළ පැමිණිලි සහ චෝදනා රැසක් පවතින බව ජනාධිපතිතුමා පැවසීය. එලෙස බලය හෝ අධිකාරිය අනිසි ලෙස අයුතු යොදා ගැනීම්, මගහැරීම්, අතපසුවීම්, නොසැලකිලිමත්කම්, වගකීම් පැහැර හැරීම් සහ අකාර්යක්ෂමතා සිදුවී යැයි පැවසෙන ක්‍රියාවන් නැවත සිදු නොවන බවට සහතිකවීමේ විධිවිධාන සැලැස්වීම සඳහා කවර ක්‍රියාමාර්ගගත යුතු ද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමේ කාර්යයකි. අදාළ චෝදනා සම්බන්ධයෙන් කඩිනම්, අපක්ෂපාතී පුර්ණ විමර්ශනයක් පැවැත්වීම සහ ත්‍රස්ත ක්‍රියාවලට සෘජුව සහ වක්‍රව සබඳතා ඇති පුද්ගලයින් මෙන්ම සංවිධානවල ක්‍රියා කලාපය හඳුනා ගැනීම ද කොමිසමට පැවරී ඇති කාර්යයන් වේ. ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාදාමයක් සිදුවන බවට පූර්ව හඳුනාගැනීම, නීතියට අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම, නොසලකා හැරීම සහ නිසි ක්‍රියාමාර්ග නොගැනීමට වගකිවයුතු නිලධාරීන් සහ බලධාරීන් හඳුනාගැනීම ජනාධිපතිතුමා කොමිසමෙන් අපේක්ෂා කෙරේ. කොමිසමේ තවත් වගකීමක් වන්නේ, ත්‍රස්ත්‍ර ප්‍රහාරවලින් පසු රට තුළ ඇති වූ මහජන උද්ඝෝෂණ, කඩාකප්පල්කාරී ක්‍රියා, දේපල හා පුද්ගල හානි මෙන්ම මහජන කැලඹිලි ඇති කිරීමට සම්බන්ධ පුද්ගලයින් හා සංවිධාන හඳුනා ගැනීමයි. ජාතිවාදී හා ආගම්වාදී ආරවුල් ඇති කිරීමට අනුබල දෙන සහ අනුග්‍රහය දක්වන පුද්ගලයින් මෙන්ම සංවිධානවල ක්‍රියාවලිය ද කොමිසම හඳුනාගත යුතු වේ. කොමිසමේ අවසන් වාර්තාවෙන් අදාළ ප්‍රහාරයට සහාය දුන්, දිරි දුන් හෝ කුමන්ත්‍රණ කළ පුද්ගලයින් හඳුනා ගෙන ඉන් හානියට පත් තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු නිර්දේශ යෝජනා කළ යුතුයි. මහජන ආරක්ෂාව පිළිබඳ සහතිකවීමට අවශ්‍ය පියවර මෙන්ම එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම ද කොමිසමේ ප්‍රධාන කාර්යයකි. අදාළ කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත භාරදිය යුතු වේ. අනතුරුව මාස දෙකකට වරක් අතුරු වාර්තා ඉදිරිපත් කළ යුතුයි. මාස 6 ක් ඇතුළත විමර්ශනයෙහි නිගමන, නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව කොමිසමේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව තමාට භාරදිය යුතු බව ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.