පවතින වැසි තත්වයේ වැඩි වීමක්

පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්...

by Staff writer 22-09-2019 | 5:50 PM

COLOMBO ( News 1st ) - දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ය. දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසිද අපේක්ෂා ඇති විය හැක. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයන්ද ඇති විය හැකි ය. තද වැසි සමග තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර ත්‍රීකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි ය. බලපිටිය සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇති විය හැක. දිවයිනට නිරත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.