රාජ්‍ය මෙන්ම පෞද්ගලික සරසවි ද පැවැතිය යුතුයි

"රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවැතිය යුතුයි" - ජනපති

by Staff writer 21-09-2019 | 7:59 AM

COLOMBO (News 1st) - සෑම විෂය ක්ෂේත්‍රයකටම අදාළව රාජ්‍ය මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ද පැවැතිය යුතුය යන්න තම ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ඒ ආකාරයෙන්ම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ද පැවැතීම අනිවාර්යය බවයි. සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත අන්තර් ග්‍රහණය කරන ලද වෛද්‍ය සිසුන් සහ දෙමව්පියන් සමග ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති හමුව අමතමින් ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ ය. ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ, විදෙස් රටවල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් විදේශ විනිමය ලෙස වසරකට රුපියල් කෝටි 800 ක මුදලක් පිට රටට ගලා යන බවයි. අධ්‍යාපනයේ තරගකාරිත්වයට වැට කඩුලු බැඳිය නොහැකි අතර එම අභියෝගය ජයග්‍රහණය කළ හැකි අන්දමින් අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය විය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. ජනාධිපතිතුමා පැවසුවේ, පසුගිය වසර කිහිපය පුරා ඇතැමුන් විසින් තම පටු දේශපාලන වුවමනා ඉටුකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මෙහෙයවුව ද එම සිසුන් රැකගනිමින් ඔවුන්ගේ ගැටලු විසඳාදීමට තමන් කැප වූ බවයි. රටේම දරුවන් තම දරුවන් ලෙස සලකන බව පැවසු ජනාධිපතිතුමා දෙමව්පියන් තම දරුවන්ට ආදරය කරන තරමින් පාලකයන් ද රටේ දරුවන්ට ආදරය කළ යුතු බව සඳහන් කළේ ය. පළමු පත්වීම ලැබීමටත් පෙර ඇතැම් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් රට හැර යාම ඛේදවාචකයක් බව පැවසු ජනාධිපතිතුමා එය රටේ ඉදිරි ගමනට අභියෝගයක් බවයි. රටට ආදරය කිරීමට මෙන්ම තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් පිළිබඳ උසස් අධ්‍යාපනයේදී එම සිසුන්ට දැනුමක් ලබාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා එහිදී පැහැදිලි කළේ ය.