මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින්නැයි, උපදෙස්

by Staff writer 21-09-2019 | 5:16 PM

COLOMBO ( News 1st ) - බලපිටිය සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට දිනය දක්වා එම තත්ත්වය බලපා හැකි බව ය. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 60-70 දක්වා වැඩිවිය හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු ය. මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය. සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.