එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් පත් කිරීමේ සූදානමක්

by Staff writer 21-09-2019 | 9:36 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමට අගමැතිවරයාගේ හිතවතුන් පත් කිරීමේ උත්සාහයක් ඇතැයි පසුපෙළ මන්ත්‍රීවරු අද අනාවරණය කළහ. 

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය 92 දෙනෙකුගෙන් සමන්විත අතර, මේ වනවිට එය නියෝජනය කරන්නේ සාමාජිකයින් 68 දෙනෙකු පමණ ය. පුරප්පාඩු වී ඇති සාමාජිකයින් 24 සඳහා පක්ෂ නායකත්වයට හිතවත් පිරිස් පත්කිරීමට උත්සාහ කරමින් සිටින බවට පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරයි. එක්සත් ජාතික පක්ෂය පා.ම හේෂා විතානගේ පවසන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තෝරාගෙන ඇති බවයි.
''අද දිනයේ මේ වෙනකොට ආරංචි වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ වන විට පවතින පුරප්පාඩු ප්‍රමාණයක් වෙනුවෙන් 20ට අධික ප්‍රමාණයක් වෙනුවෙන් හදිසියේ නව පත්වීම් ලබා දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවත් කණ්ඩායම් තෝරාගෙන තියෙනවා කියලා. මේ දෙකයි පනහේ සදාචාරාත්මක වැඩ කරලා මේ පක්ෂය ආපස්සට හරවන්න එපා කියන කාරුණික ඉල්ලීම කරනවා.''
එක්සත් ජාතික පක්ෂය පා.ම. චමින්ද විජේසිරි පවසන්නේ මෙම පත්වීම් ලබාදීම සදාචාර සම්පන්න නොවන බව ය.
'' විශේෂයෙන්ම මැතිවරණ කාලය තුළ මැතිවරණ කොමසාරිස්තුමා කියනවනේ පත්වීම් දෙන්න එපා කියලා. මං හිතනවා අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මෙවැනි පත්වීම් ලබාදීම සදාචාර සම්පන්න නැහැයි කියන කාරණය මම විශ්වාස කරනවා. ඒ වෙලාවේ මම හිතන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත්වීම් ලබාදීම නෙමෙයි සිද්ධ වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත් කිරීම තමයි සිද්ධ වෙන්න ඕන.''
අරලියගහ මන්දිරයට අද උදෑසන පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, කාවින්ද ජයවර්ධන, කොළඹ දිස්ත්‍රික් සංවිධායක ප්‍රියන්ත පත්බේරිය, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි යන මහත්වරුන් ඇතුළු කිහිපදෙනෙකු පැමිණියේ ඒ අතරතුර ය. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණය ළඟදීම ගන්නා බවයි. එමෙන්ම මන්ත්‍රීවරු සියළු දෙනාම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව කියවිය යුතු බව මන්ත්‍රී ආශු මාරසිංහ පවසා සිටියේ ය.
'' සමහර මන්ත්‍රීවරු කරන ප්‍රකාශ දැක්කම මම ඒ හැම මන්ත්‍රී කෙනෙක්ගෙන්ම ඉල්ලනවා එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව කියවන්න. ඒ නිසා ව්‍යවස්ථාවේ කාරණා දන්නවා. පක්ෂ ව්‍යවස්ථාවට අනුව අපි කටයුතු කරනවනම් ඒක නේ සමහර මේ කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අලුතෙන් බඳවා ගන්නවා කියලා සමහර මන්ත්‍රීවරු කියනවා. එහෙම වෙන්න බෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව එහෙම බඳවා ගන්න බෑ.''
එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් පත් වූ ආශු මාරසිංහ මන්ත්‍රීවරයා කරන මෙම ප්‍රකාශය ගැන හේෂා විතානගේ මහතා සිය ප්‍රතිචාරය මෙසේ පළ කළේ ය.
'' පක්ෂයේ ව්‍යවස්ථාව මේ මොහොතේ මං ගාව තියෙනවා. පක්ෂ ව්‍යවස්ථාවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත් කරන විදිහ දන්නවා. අපි කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ව්‍යස්ථාවෙන් පරිබාහිරව කටයුතු කරන්න එපා. ඒ ලැබිලා තියෙන නීත්‍යානුකූල බලය සදාචාරාත්මකව පාවිච්චි කරන්න කියන කාරණාව. ඔය කියන මන්ත්‍රීතුමා පහුගිය ටිකේ මේ දවස් වල එක එක දේවල් කියනවා. මේ පක්ෂයත් භේද බින්න කරන්න කටයුතු කරනවා. මහත්තයා හිටපු තැනුත් දන්නවා, යන්න හදන තැනුත් දන්නවා. ඒ ගැන අපිට ආපහු කතා කරන්න දෙයක් නෑ. අපි එක්සත් ජාතික පක්ෂයේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින මන්ත්‍රීවරු.''