මෙවර රග්බි ලෝක කුසලානය කාට ද?

2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ඇරඹේ

by Staff writer 20-09-2019 | 5:27 PM

News 1st - රටවල් 20 ක් එකම කිරුළක් උදෙසා තරග වදින 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ආරම්භ වේ.

ලොව ප්‍රමුඛපෙලේ රග්බි කණ්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී අද ආරම්භ වනු ඇත. 1987 දී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2011 දී සහ 2015 දී පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකම දිනා සිටින නවසීලන්තය මෙවර තරගාවලියට එක්වන්නේ අඛණ්ඩව තෙවැනි වරටත් ලෝක ශූරයන්වීමේ බලාපොරොත්තුවෙන්ය. එහෙත් නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන්නේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම ලෙසින් නොවේ. ඒ, සික්ස් නේෂන් රග්බි තරගාවලියේ ශූරයන් වූ වේල්සයට එරෙහිව තරග දෙකක් ජයගත් අයර්ලන්තය ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානයේ පසුවීමයි. කෙසේ වෙතත් වසරේ රග්බි ක්‍රීඩකයන් බවට පත් වූ කරන් රීඩ්, බ්‍රෝඩී රෙටැලික් සහ බියුඩෙන් බැරෙට් සමග මෙවර නවසීලන්තයට තරග බිමට පිවිසෙති. මෙවර තරගාවලියේ සී කාණ්ඩයේ ප්‍රබලයා ද වන නවසීලන්තය සිය ලෝක කුසලාන ගමන ආරම්භ කරන්නේ හෙටයි. පළමු තරගයේදීම ඔවුන්ගේ ප්‍රතිවාදියා වන්නේ අතිප්‍රබල දකුණු අප්‍රිකාවයි. දෙවරක් ලෝක ශූරයන් බවට පත් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර සියා කොලිසි විසින් මෙහෙයවනු ලබන අතර ඔහු ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන පළමු කළු ජාතිකයා ලෙසින් ද ඉතිහාසගත වේ. ඉතාලිය, නැමිබියාව සහ කැනඩාව බී කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන අතර දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය බොහෝ විට බී කාණ්ඩයේ ජයග්‍රාහකයා තීරණය කරන තරගයවීමට ඉඩ තිබීම විශේෂත්වයකි. සත්කාරක ජපනායේ රග්බි ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු වන්නේ 2015 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 34 ට 32 ක් ලෙසින් දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයක් නැවත වරක් මෙවරද ප්‍රතිනිර්මාණය කිරීමට ජපානයට හැකිවනු ඇති බවයි. එම ජයග්‍රහණය සැළකෙන්නේ එදා මෙදා තුර ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව වෙතින් සිදු වූ ලොකුම අත් වැරැද්ද ලෙසයි. 2015 වසරේදී ජපානයේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික එඩී ජෝන්ස් මෙවර සී කාණ්ඩයේ ප්‍රබලයා වන එංගලන්ත කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි. එංගලන්ත කණ්ඩායම 2003 වසරේදී රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ, එවැනි දක්ෂතාවයක් කළ උත්තරාර්ධ ගෝලයේ පළමු රට බවට පත්වෙමිනි. මෙවර තරගාවලියට එක්වන ප්‍රංශය මේ වන විට 6 වරක් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇතත්, ඔවුන් පසුගිය වසර තුනක කාලයක් තුළ කැපී පෙනෙන දස්කම් දක්වා නැත. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඩී කාණ්ඩය සමන්විත වන්නේ වේල්සය, ඕස්ට්‍රේලියාව සහ ෆිජි යන කණ්ඩායම්වලිනි. ජෝර්ජියාව සහ ආධුනික උරුගුවේ කණ්ඩායම් ද තරග වදින්නේ ද ඩී කාණ්ඩයෙනි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව දෙවරක් ලෝක කුසලනාය දිනාගත් කණ්ඩායමක් වේ.