ඌරුබොක්කේදී පැහැරගත් ව්‍යාපාරිකයා සොයාගනී

සුදු වෑන් රථයකින් පැහැරගත් ඌරුබොක්කේ ව්‍යාපාරිකයා කොට්ටාවෙන් සොයාගනී

by Staff writer 20-09-2019 | 4:45 PM

COLOMBO (News st) - ඌරුබොක්ක ප්‍රදේශයේදී පැහැර ගත් ව්‍යාපාරිකයා කොට්ටාව ප්‍රදේශයේ දමා ගොස් සිටියදී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් පැමිණි අංක තහඩු නොමැති වෑන් රථය පිළිබඳ CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනයකට අනුව එහි හිමිකරු අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවිය. ඔහු පිළියන්දල, නාම්පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථය කොට්ටාව ප්‍රදේශයේ කුලී රථ ආයතනයකට ලබාදී ඇති බවයි. ඒ අනුව පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ එම ස්ථානයට ගොස් වෑන් රථය කුලියට රැගෙන ගිය පුද්ගලයා ඇතුළු තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන් යළි වෑන් රථය භාරදීමට පැමිණි අවස්ථාවේදීයි. වැඩිදුර විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකරුගේ නිවසේ සිටි තව ත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඔවුන් කඩුවෙල සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගන්නා බව පොලීසිය පැවසීය. පැහැරගත් ගත් ව්‍යාපාරිකයා මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. ඌරුබොක්ක, බෙරලපනාතර පදිංචි වැවිලි ව්‍යාපාරිකයා ඊයේ උදෑසන 6.30 ට පමණ පැහැරගෙන ගොස් තිබුණේ අංක තහඩු නොමැති සුදු වෑන් රථයකින් පැමිණි පිරිසකි.