ශිරාණි බණ්ඩාරනායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයිද?

by Staff writer 20-09-2019 | 8:13 PM

COLOMBO ( News 1st ) - හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇයට එල්ල වූ දෝෂාභියෝගයට හේතු වූ කරුණු සහ එහි පසුබිම් කතාව ඇතුළත් කරමින් උත්තරීතර නමින් පොතක් අද එළි දැක්වුවේ ය.

දෝෂාභියෝගයේ ඇතුළාන්තය ලෙස මේ පොත හදුන්වාදෙන අතර අද ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එය එළිදැක්වීම සිදු විය. හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මේ පොත මූලිකවම පදනම් වෙලා තියෙන්නේ 2013 දෝෂාභියෝගයකින් මාව 43 වන අගවිනිසුරු තනතුරින් නෙරපා හැරීම පිළිබඳව. ඒ දෝෂාභියෝගයේ අභ්‍යන්තර කරුණු ඇතුළත් වෙලා තියෙනවා පොත් දෙකේම. ඇත්තටම අන්තර්ගතය තියෙන්නේ 2011 මම අගවිනිසුරු තනතුරට පත්වෙච්ච වෙලාවේ ඉදලා 2013 ජනවාරි, පෙබරවාරි දක්වා පමණයි. ඊට පස්සේ තව තියෙනවා වෙනමම කතාවක්. අපි ඒක පස්සේ වෙලාවක බලමු. මාධ්‍යවේදී ප්‍රශ්නය - හිටපු අගවිනිසුරුතුමියනි, ඔබ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් පිළිබඳව මතයක් යනවා. ඇත්තද ? පිළිතුර - ඒක අනිවාර්යෙන්ම මහජනතාවගේ කැමත්ත. මම කිසිම දෙයක් මේ දක්වා සැළසුම් සහගතව ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි. මාධ්‍යවේදී ප්‍රශ්නය - ඒ කියන්නේ මහජනතාව තීරණය කරොත් ඔබතුමිය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා ඔබතුමිය ඉදිරිපත් වෙනවද ? පිළිතුර - ඉදිරිපත්වීම නෙවෙයි. මම හිතන්නේ මහජනතාවගේ කැමත්තයි මෙතන බලපාන්නේ. ඉරණම දෛවය මාව මේ තැනට ගෙනල්ලා තියෙනවා. හැම දෙයක්ම මම විශ්වාස කරන විදිහට දෛවය තීරණය කරයි. මාධ්‍යවේදී ප්‍රශ්නය - ඒ කියන්නේ දෛවය තීරණය කරොත් ඔබතුමිය ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා ඔබතුමිය ඉදිරිපත් වෙනවා. පිළිතුර - දෛවය නෙවෙයි මහජනතාව. මම හිතනවා හැම වෙලාවෙම මම පත්වෙච්ච හැම තනතුරකටම 1981 ඉදලා මට කරන්න පුළුවන් උපරිමය මම කරලා තියෙනවා කියලා. ඒ තැන් මම කලින් සැලසුම් කරලා ආපු ඒවා නෙවෙයි. මට වැදගත් වෙන්නේ රට, මහජනතාව සහ අනාගත අභිවෘද්ධිය.