එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් පත්කිරීමේ සූදානමක්..

by Staff writer 20-09-2019 | 10:06 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසක් පත් කිරීමේ සූදානමක් ගැන අද අනාවරණය කෙරිණි.

අමිල රුවන් - සභාපති ගජසවි සමවාදී පෙරමුණ
අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියනවා තවදුරටත් ලැජ්ජාවට පත්වෙන්න එපා. තවදුරටත් විහිලුකාරයෙක් බවට පත්වෙන්නට එපා. මේ රටම බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාවයි. මේ වෙනකොට අපිට ආරංචි ලැබෙමින් පවතිනවා ඉදිරි දින කීපය තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩුව පවතින 27 දෙනා ඔබතුමාගේ හිතැඟි පරිදි නම් කරලා ඒ හරහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පවත්වන්න උත්සාහ කරනවයි කියලා. මේ නිර්ලජ්ජිත වැඩේ කරන්න එපැයි කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි කියනවා.
හිතවතුන් පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බව අනාවරණය වෙද්දී අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබුණේ, වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන බව ය. ලබන සතියේ රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කිරීමට සූදානම් වන නාමයෝජනා කමිටුවට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වැදීම සඳහා තමාගේ නම ද ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ ද සූදානම් වන බව අයිලන්ඩ් වාර්තාවේ සඳහන් වේ. ෂැකී ජබාර් පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් මේ පුවත වාර්තා කර තිබුණි. 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසු ගත වූ වසර 25ක කාලය තුළ ඔහු එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කළ ඡන්ද ගණන 30කට ආසන්න ය. 1994 වසරේ ගාමිණී දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීම මගහැරී රනිල් වික්‍රමසිංහ මුල්වරට ජනාධිපතිවරණයකට තරග කළේ 1999 දී ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවේ අන්ත පරාජයකට ලක් වූ ඔහු යළිත් 2005 වසරේදී පරාජයට පත් වූයේ මහින්ද රාජපක්ෂ මහතා හමුවේදී ය. 1994 මහ මැතිවරණයෙන්ද එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔහුට හැකි වූයේ නැත. නමුත් 2001දී තෑග්ගක් මෙන් ලැබුණු මහ මැතිවරණ ජයග්‍රහණය ද වසර 2ක කාලයක්වත් රැකගැනීමට රනිල් වික්‍රමසිංහට නොහැකි විය. ඔහු 2010 සහ 2015 ජනාධිපතිවරණවලට තරග කිරීම මඟ හැරියේ පොදු අපේක්ෂකයින්ට මුවාවෙමිනි. 2010 පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මැතිවරණය පරාජය වූ වහාම සියල්ලන්ට පෙර පරාජය භාර ගනිමින‍් නිදහස්ව හා සාධාරණව ඡන්දය පැවැති බව රට හමුවේ ප්‍රකාශ කළේ, මේ රනිල් වික්‍රමසිංහ ය. 2015 දීත් පොදු අපේක්ෂකයෙකුට මුවා වූ රනිල් වික්‍රමසිංහ අගමැති තනතුර ලබාගත්තේ, පාර්ලිමේන්තුවේ සුළුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඔහු සතුව තිබියදී ය. 2001න් පසුව මේ දක්වා පැවති සෑම මැතිවරණයක්ම එක්සත් ජාතික පක්ෂය අන්ත පසුබෑමකට ලක් කළ මේ නායකයා මේ අවස්තාවේදී ත් අගමැතිකම ආරක්ෂා කරගෙන සිටියේ සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක සහයෝගයෙන් ය. ජනතාවගේ කැමැත්තෙන් කිසිදා බලයට පත්වීමට නොහැකි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සත්භාවයෙන් විධායක ජනාධිපති බලතල අත්හැරීමට ගෙන ආ යෝජනාව තමන්ට හිතවත් කිහිපදෙනෙකු සමග එක්ව විධායක බලතල කොල්ලකෑමට යොදාගැනීමට උත්සාහ කළේ ය. ඒ උත්සාහය යම් ප්‍රමාණයකින් වැළකී ගියේ අප ද ඇතුළුව පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් කරුණු දැක්වීම හේතුවෙනි. නමුත් ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයක් අගමැති සහ කතානායක අතට පත් වී බල තණ්හාව නිසා දැන් රට ම අවුලකට පත්කර අවසන් ය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අන් කිසිවෙකුටත් වඩා පෙනී සිටින බව කියමින් රනිල් වික්‍රමසිංහ සැමවිටම කළේ, ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කර තනතුර රැකගැනීමට ය. ගත වූ අවුරුදු 25 තුළ නායකත්වයට අභියෝග ආ සෑම අවස්තාවකම හිතවත් කිහිපදෙනෙකුගේ කමිටු අටවන ඔහුට පක්ෂය සහ පාක්ෂිකයා පරාජය වීම පිළිබඳව ඇත්තේ අවම අවධානයකි. රනිල් වික්‍රමසිංහ මේ වන විට ඔහුට විරුද්ධව නැගී සිටි විශාල පිරිසක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඔහුට හිතවත් බහුතරයක් ඊට ඇතුළත් කර තිබේ. දැන් රනිල් වික්‍රමසිංහගේ අලුත්ම උපාය ක්‍රියාත්මක වෙමින් පවතී. පක්ෂයේ ව්‍යවස්ථාවට මුවා වී දැන් ඔහු සූදානම් වන්නේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ නාම යෝජනා කමිටුවක් පත් කර ජනාධිපති අපේක්ෂකයා යෝජනා කිරීමට ය. රනිල් වික්‍රමසිංහ මේ සඳහා සූදානම් වන්නේ, එක්සත් ජාතික පක්ෂයේත් ඊට සහාය දක්වන අනෙකුත් පක්ෂ වලත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අති බහුතරය සජිත් ප්‍රේමදාස පක්ෂයත් පාක්ෂිකයාත් දිනවිය හැකි අපේක්ෂකයා ලෙස තීරණය කර තිබියදී ය. තමන්ට පක්ෂපාතී හිතවතුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරගෙන, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඊනියා නාමයෝජනා කමිටුවක් අටවාගෙන දැන් රනිල් වික්‍රමසිංහ යළිත් සැරසෙන්නේ පක්ෂය දිනවීමට ද? අවුරුදු 40ක පමණ දේශපාලන ජීවිතය තුළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස යැපුණේ ජනතා මුදල් වලිනි. මෙවරත් පාක්ෂිකයාගේ ජයග්‍රහණය ගැන කිසිඳු වගවිභාගයක් නැති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ, පරාජයට පත් වී විපක්ෂ නායකකම ලබාගෙන ජනතා මුදලින් තවත් කාලයක් යැපෙන්න ද?