කැළිකසල ප්‍රතිඅපනයනයට තවත් අධිකරණ තීන්දුවක්

ආනයනය කළ කැළිකසල ප්‍රතිඅපනයනය වළක්වමින් පැන වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

by Staff writer 20-09-2019 | 4:08 PM

COLOMBO ( News 1st ) - විදේශ රටවලින් ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසල දිවයිනේ වෙනත් ප්‍රදේශයකට රැගෙනයාම වළක්වමින් අභියාචනාධිකරණය විසින් පසුගිය ජුලි 31 වනදා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස 21 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසිනි. අභියාචනාධිකරණය රජයේ රස පරික්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කළේ, මේ වන විට කොළඹ වරාය පරිශ්‍රය හා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසල අඩංගු සෑම කන්ටේනර් රථයකින් සාම්පල් ලබාගෙන රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ය. එම කැළිකසල අධිකරණයේ අවසරයකින් තොරව ප්‍රතිඅපනයනය කිරීමද එම අතුරු තහනම් නියෝගය මගින් වළක්වා තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ නඩුවේ විභාගය ලබන 21 වැනි දින දක්වා කල් තැබුණි.