නියෝගයේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 වනදා

අභියාචනාධිකරණ නියෝගයේ පිටපතක් නොලැබීම නිසා ගෝඨාභයට එරෙහි නඩුව 23 වන දා

by Staff writer 20-09-2019 | 12:19 PM
COLOMBO (News 1st) - ඇවන්ගාඩ් නඩුව මේ මස 23 වන දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, එම නඩුවේ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක් නොලැබීම හේතුවෙනි. නඩුව අද කැඳවනු ලැබුවේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය ඉදිරියේ ය. අභියාචනාධිකරණ තීන්දුවේ පිටපතක් ලබා ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයාට මෙහිදී නියෝග කළා ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ පෙත්සමක් පසුගිය 12 වන දා සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් නියෝග කළේ සැකකරුවන් නිදහස් කිරීමට ය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි. රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනි.