අතුරුදන්වූවන්ගේ පවුල්වලට මාසිකව අතුරු දීමනාවක්

අතුරුදන්වූවන්ගේ පවුල්වලට රුපියල් 6000 ක අතුරු දීමනාවක්

by Staff writer 20-09-2019 | 6:23 PM

COLOMBO (News 1st) - අතුරුදන්වූවන්ගේ පවුල්වලට මාසික අතුරු දීමනාවක් ලෙස රුපියල් 6000 බැගින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එහි දැක්වෙන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවයේ යෙදී සිටියදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද එම දීමනාව ලබාගැනීමට හිමිකම පවතින බවයි. තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන් වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල් ඒ සඳහා සුදුසු බව 2018 අගෝස්තු මාසයේදී අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතුරු වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. මේ අනුව ප්‍රවාස සහතිකය ලබන්නාගේ නමට ඇති බැංකු ගිණුමට රුපියල් 6000 අතුරු දීමනාව තැන්පත් කරනු ඇති. මෑතකදී පිහිටුවන ලද හානිපූරණ කාර්යාලය විසින් වන්දි සහ වෙනත් ආකාරයේ හානි පූරණ ගෙවීම් ලබාදෙන තෙක් මෙම අතුරු දීමනාව ගෙවන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.