හේමසිරි සහ පූජිත් ඇප මත මුදා හැරීම පිළිබඳ නියෝගය

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර ඇප මත මුදා හැරීම පිළිබඳ මහාධිකරණ නියෝගය ලබන මස 9 වන දා

by Staff writer 20-09-2019 | 12:52 PM
COLOMBO (News 1st) - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත පිළිබඳ විභාගය අද අවසන් කෙරිණි. එම අයැදුම්පත ගොනු කර ඇත්තේ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමිනි. එම අයැදුම්පත සම්බන්ධ නියෝගය ලබන මස 9 වන දා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද තීරණය කළේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙමින් නිකුත් කළ නියෝගය ඉතා වැරදි සහගත එකක් බවත්, නෛතික වශයෙන් දෝෂ 05ක් ඇති බවත් පවසමින් එම නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.