ජගත් විජේවීර සහ තාරක අත්අඩංගුවට ගන්නැයි, නියෝග

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නියෝග

by Staff writer 19-09-2019 | 5:23 PM
COLOMBO (News 1st) : හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේ ය. ඒ රාජසන්තක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයට පත් කර තිබු රත්‍රං කිලෝග්‍රෑම් 8 ක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළ බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීමකින් අනතුරුවයි. එම සැකකරුවන් දෙදෙනා විදේශගතවීම වළක්වන තහනම් නියෝගයක් ද නිකුත් කළ මෙහ්ස්ත්‍රාත්වරයා වහා ම එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට යවන ලෙසට ද නියෝග කළේ ය. පසුගිය රජය සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ සදගිරිසෑයේ තැන්පත් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේට තැන්පත් කිරීම සඳහා රේගු භාරයේ තිබු රත්‍රං කිලෝ 8ක ප්‍රමාණයක් රේගු ආඥා පනතට පටහැනි ආකාරයෙන් ලබාදී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය. උතුරු මුදුදේදී අත්අඩංගුවට ගත් රත්‍රං කිලෝග්‍රෑම් 45. 3 ක ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා රේගුවට භාර දී තිබියදී එලෙස රේගු ආඥා පනතට පටහැනි ආකාරයෙන් ලබාදීම මගින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි ද මූල්‍ය අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. එම උපදෙස් අනුව එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඔවුන් පදිංචිව සිටි නිවෙස්වලට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර යැවූ මුත් ඔවුන් නිවාසවලින් බැහැරව සැඟව සිටින බව පැවසූ විමර්ශන නිලධාරීන් සැකකරුවන් විදේශගත වීමට ඉඩ ඇති බව ද පෙන්වා දුන්නේ ය. එම නඩුව ලබන මස 08 වැනිදා කැඳවීමට නියමිතයි.