රාජිත අද ජනපති කොමිසම හමුවට

රාජිත සේනාරත්න අද ජනාධිපති කොමිසම හමුවට

by Staff writer 19-09-2019 | 7:45 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය සිව්වසර තුළ රජයේ දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිත වේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද දහවල් 1.30 ට අමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත්ව රජයට පවරා නොගෙන රජයේ මුදල් වැය කරන බවට ලැබී ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවට කැඳවනු ඇති. එම පැමිණිල්ල කර ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමගයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසිනි. මේ අතර ඊයේ කොමිසම හමුවේ පෙනී සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, සුරේන් බටගොඩ මහතා අද දිනයේත් යළි කොමිසම හමුවට කැඳවනු ඇති. ඒ, ඔහු ඊයේ දිනයේ කොමිසම හමුවට පැමිණීමේදී අවශ්‍ය ලේඛන රැගෙන නොඒම මතයි. ඒ අනුව ඔහුට දැඩිව අවවාද කරමින් සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අවශ්‍ය සියලු ලේඛන රැගෙන අද කොමිසම හමුවට පැමිණෙන ලෙසයි. විදුලිබල මණ්ඩලයට අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමේදී හා ඉන්ධන ලබා ගැනීමේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා කෙමිසම හමුවට කැඳවා තිබේ.