ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට 16 වසරක සිර දඬුවම්

ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට 16 වසරක සිර දඬුවම්

by Staff writer 19-09-2019 | 6:14 PM
COLOMBO (News 1st) : කුඹුරු ඉඩමක් පවරාදීමට කටයුතු කිරීම සඳහා ගොවියෙකුගෙන් රුපියල් අටදහසක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4කට වරදකරු කරනු ලැබූ අක්කරපත්තුව ගොවිජන සේවා කාර්යාලයට අනුයුක්තව සේවය කළ ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට අද වසර 16 ක සිර දඬුවම් නියම කෙරිණ. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ඊට අමතරව රුපියල් විසිදහසක දඩයක් ද නියම කෙරිණ. එම චූදිතයාට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ ගොවිජන සේවා කාර්යාලයේ ලිපිකරුවෙකුට වසර 4 ක සිර දඬුවම් ද එහිදී නියම කළ විනිසුරුවරයා රුපියල් දස දහසක දඩයක් ද නියම කළේ ය. පැමිණිලිකාර ගොවියාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුවන් දෙදෙනාට නියම කෙරිණ.