අල්ලස් ගත් කොස්තාපල්ට වසරක සිරදඬුවම්

අල්ලස් ගත් කොස්තාපල්ට වසරක සිරදඬුවම්

by Staff writer 19-09-2019 | 5:07 PM
COLOMBO (News 1st) : ලොරි රථ රියදුරෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 2කට වරදකරු කරනු ලැබු මට්ටක්කුලිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුට බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් අද නියම කෙරිණ. එම සිර දඬුවම නියම කරනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසිනි. ඊට අමතරව රුපියල් පනස් දහසක දඩයක් ද නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් මාස 18 කට අමතර සිර දඬුවමක් ද නියම කළේ ය. 2016 ජුනි මස 12 වන දා මට්ටක්කුලිය කදිරාන මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදී ඖෂධ ප්‍රවාහනය කළ ලොරි රථයකින් එකී අල්ලස් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 8 ක් යටතේ එම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නඩු පවරා තිබු අතර අධිචෝදනා 6 කින් විත්තිකරුව නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කළේ ය.