සෞදියට එල්ල වූ ප්‍රහාරවල අලුත්ම තත්ත්වය

සෞදියට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා නිරිතදිග ඉරානයෙන් පැමිණ ඇතැයි, අමෙරිකාව කියයි

by Staff writer 18-09-2019 | 8:32 AM
COLOMBO (News 1st) : සෞදි අරාබියේ බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා සහ කෘස් මිසයිල, ඉරානයේ නිරිතදිග ප්‍රදේශයෙන් එවා ඇතැයි, අමෙරිකාව පවසයි. අමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් සඳහන් කළේ, එම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර නිකුත් කළ ඉරානයේ භූමි ප්‍රදේශ නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වූ බවයි. මෙම ප්‍රදේශ දකුණු දිග ඉරානයේ සහ ගල්ෆ් කලාපයේ උතුරු දිග ප්‍රදේශවල පිහිටා ඇතැයි ද අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කළේ ය. සෞදි අරාබියේ ගුවන් ආරක්ෂණ පද්ධතිය, යේමනයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීමට දකුණු දෙසට වන්නට ස්ථානගත කර තිබූ බැවින් එම පද්ධතියට ඉරානයෙන් එල්ලවූ ප්‍රහාර වැළැක්වීමට නොහැකි වූ බව ද අමෙරිකාව සඳහන් කළේ ය. කෘස් මිසයිල සහ ඩ්‍රෝන යානා දෙවර්ගයම යොදාගෙන එල්ල කළ මෙම ප්‍රහාරය මීට පෙර සිතා සිටියාට වඩා සංකීර්ණත්වයෙන් සහ ප්‍රභලත්වයෙන් වැඩි බව ද අමෙරිකානු බලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකාව මෙම චෝදනා තහවුරු කරන සාක්ෂි මෙතෙක් ඉදිරිපත් කර නොමැත. සෞදි අරාබි මාධ්‍ය සඳහන් කළේ, එම ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බව හෙළිකරන සාක්ෂි ඉදිරිපත්කිරීමට අද සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය හමුවක් කැඳවන බවයි . කෙසේ වෙතත් ගෝලීය බොරතෙල් සැපයුම අඩපණ කළ මෙම ප්‍රහාර එල්ල කළේ, තමන් බවට එල්ලවන චෝදනා ඉරානය තරයේ ප්‍රතික්ෂේප කළේ ය. මෙම ප්‍රහාරය හමුවේ ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 20% ක ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර සෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදනය 50 %ක ප්‍රතිශතයකින් අඩාල විය.