වෛද්‍යවරු ඇතුළු වෘත්තිය සංගම් රැසක් වර්ජනයේ

වෛද්‍යවරු ඇතුළු වෘත්තිය සංගම් රැසක් වර්ජනයේ

by Staff writer 18-09-2019 | 1:56 PM
COLOMBO (News 1st) : වැටුප් ගැටලු මුල්කරගනිමින් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිය සංගම් රැසක් මේ වන විට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුව සිටී. එලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට යොමු ව ඇත්තේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය , රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සංගම් ගණනාවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට පැය 24 ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක ආරම්භ කළේ ය. ඒ වැටුප් විෂමතා සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මුල්කරගනිමිනි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවාවලින් වෛද්‍යවරුන් ඉවත්ව සිටින බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සදහා රෝහල්වෙත පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ අතර, තම ඉල්ලීම් වලට මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ මේ වන විට විරෝධතා පා ගමනක නිරතව සිටිති. කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වු මෙම විරෝධතා පා ගමන වෝඩ් පෙදෙසෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කිරිමට නියමිතයි. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක දස්සන තිලකරත්න මහතා සඳහන් කළේ, තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කළ වැඩවර්නයට මේ වන විට දින 9ක් ගතව ඇතැත්, බලධාරීන් ඊට විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.