පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය සූදානම්

පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය තීරණය කරයි

by Staff writer 18-09-2019 | 12:01 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය විසින් සපයා ඇති ආරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂක තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පරීක්ෂණයෙන් අනතුරුව මෙම තරගාවලිය සඳහා සහභාගී වන අපක්ෂපාතී නිලධාරීන් නම් කිරීමට ඔවුන් කටයුතු කිරීමට නියමිතයි. පාකිස්තානයේ මීට පෙර පැවති සිම්බාබ්වේ තරග සංචාරයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් තරග නිලධාරීන් නම් නොකළ අතර එහි දී එම කණ්ඩායම්වලට එම නිලධාරීන් සොයා ගැනීමට සිදුව තිබිණ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තරගාවලියේදී ද පෙර තරගාවලිය මෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම නිලධාරීන් තම ක්‍රියාවලියක් ඔස්සේ සොයා ගැනීමට සිදුවීමට ඉඩ ඇති බවයි. එහි දී එම ක්‍රිකට් ආයතන විසින් අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිල්ලට ගැනීමට සිදුවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය එක්දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වේ. එය එළඹෙන සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් මස 9 දක්වා පැවැත්වීමට නියමිතයි.