ජනපති පුටුවට කුරුමානම් අල්ලන කරු

by Staff writer 17-09-2019 | 9:27 PM
COLOMBO (News 1st) - ජනාධිපති අපේක්ෂකයෙකු වීමට ඇති සූදානම ගැන පැහැදිලි කරමින් කථානායක කරු ජයසූරිය මහතා අද නිවේදනයක් නිකුත් කළේ ය. එම නිවේදනයේ දැක්වුණේ, මහා සංඝරත්නය ඇතුළු බොහෝ විද්වතුන් සුවිශේෂී කරුණු කිහිපයක් වෙනුවෙන් තමාට ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව ය. පසුගිය සති කිහිපය තුළ මහා සංඝරත්නය, අනෙකුත් පූජ්‍ය පක්ෂ, සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයින්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමත්, සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරීමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යවශ්‍ය බව එම සියලු පාර්ශව ඉදිරිපත් කළ පොදු කරුණක් බව ය. කවර ඉල්ලීමක් වුවද තමාට සලකා බැලිය හැක්කේ, 1995 වසරේ සිට අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අරමුණ කර ගත් දේශපාලන බලවේග සමග එක්ව පමණක් බව ජයසූරිය මහතාගේ නිවේදනයේ සඳහන් ය. එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසි විටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත් වීමක් නොවන බව කරු ජයසූරිය මහතා පවසයි. ඔහු කියා සිටින්නේ, එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය සහිතව සිදු විය යුතු බව ය. එක්සත් ජාතික පක්ෂය රටට නිදහස දිනා දීමට මුල් වූ පක්ෂයයි. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක නිදහස් පක්ෂය ඇරඹුවේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව ය. ඒ අනුව බලන විට නිදහස් පක්ෂයට ද උපත ලබා දීමට මුල් වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. නිදහසින් පසුව දශක ගණනාවක් එක් අයෙකු හැර පක්ෂයට නායකත්වය දුන් අනෙක් සියලුම නායකයින් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ සිටිමින් මේ විසල් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම සුරක්ෂිත කිරීමට කැප විය. නමුත් මේ මහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වන විට එක් පුද්ගලයෙකු විසින් දනින් වට්ටවා තිබේ. දැන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අලුත්ම ඉත්තා වී ඇත්තේ කථානායක කරු ජයසූරියයි. කථානායක තනතුරට කිසිදු අදාළත්වයක් නැති දේශපාලන කරුණු දැන් ඔහු නිල ලිපි ශීර්ෂවලින් මාධ්‍යයට නිවේදන නිකුත් කරමින් දැනුම් දෙයි. දැන් බළලා මල්ලෙන් එළියට පැන තිබේ.

කවුද මේ කරු ජයසූරිය...

2007 දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සමග පක්ෂය කඩා ගෙන පුද්ගලික අරමුණු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ රජයට සහය දැක්වූයේ මේ කරු ජයසූරියයි. බලයට හා තනතුරුවලට ඇති කෑදරකම නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී ඔහු පමණක් යළි එක්සත් ජාතික පක්ෂයට රිංගුවේ රැගෙන ගිය 16 දෙනාම රාජපක්ෂ ආණ්ඩුවට බිලි දෙමිනි. නායකයා දිගින් දිගටම පක්ෂය පරාජය කරමින් විනාශ කරද්දී පාක්ෂිකයෝ නායකත්ව වෙනසක් වෙනුවෙන් සටනක් ආරම්භ කළහ. පාක්ෂිකයා වෙනුවෙන් යැයි කියමින් එම අවස්ථාවේ මහා සංඝරත්නය පවා නොමග යවමින් රනිල් වික්‍රමසිංහගේ ඉත්තා වූයේ කරු ජයසූරියයි. බොරු නායකත්ව කවුන්සිලයක් අටවා එහි සභාපති යැයි කියමින් පාක්ෂිකයා නොමග යැවූ අතීතය කාට අමතක වුවත් පාක්ෂිකයාට නම් අමතක නොවේ. නායකත්ව කවුන්සිලය දියවී යද්දී කරු ජයසූරිය පක්ෂයේ උපනායක තනතුරට පත් කළේ රනිල් වික්‍රමසිංහයි. මේ කුමන්ත්‍රණය නිසා අවසානයේ අවස්ථා දෙකකදීම පක්ෂයේ නායකයෙකු ජනාධිපතිවරණයකට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි විය. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව කරු ජයසූරියට පාඩමක් ඉගැන්වූයේ නිළියක වන උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබාටත් පරාජය කරමිනි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යැයි ලොකු කතා කියන මොහු තානාපති කාර්යාල හරහා 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලය සොරා ගන්නට අගමැතිවරයා උත්සහ කරද්දී සිටියේ කොහේ ද? විදේශ බලවේග පාර්ලිමේන්තු සභාවට ගෙන්වා මොහු ආරක්ෂා කළ රටේ ස්වාධීනත්වය කුමක් ද? නිල බලය යොදා දේශපාලන කටයුතු කරන 78 හැවිරිදි කථානායක කරු ජයසූරිය දෙන මේ පොරොන්දු ජනතාව පිළිගනියි ද? දැන් රනිල් වික්‍රමසිංහට වුවමනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය දිනවීම නොවේ. පක්ෂය ජයග්‍රහණය කළහොත් ඔහුගේ තනතුරු අභියෝගයට ලක් වන බැවින් අවුරුදු 40ක් පමණ විවිධ තනතුරු දරමින් මහජන මුදලින් යැපුණු රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයා ලෙස තවදුරටත් සුව පහසු දිවියක් ගත කිරීම එකම අරමුණ කර ගෙන තිබේ. ඒ අරමුණ ඉටු කර ගැනීමට නම් කරු ජයසූරිය කදිමට ගැළපෙයි. නමුත් පාක්ෂිකයාත්, රටේ ජනතාවත් දැන් ඉල්ලන්නේ දිනන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් මිස පාවා දෙන්නෙකු නොවේ.