කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කංජිපානි ඉම්රාන් ලබන 01 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

by Staff writer 17-09-2019 | 5:19 PM
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන මොහොමඩ් නජීඩ් මොහොමොඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 01 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළා ය. ඒ, පසුගිය වසර කිහිපය තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී මනුෂ්‍ය ඝාතන සඳහා කුමන්ත්‍රණ කිරීම, ආධාර අනුබල දීම ඇතුළු නඩු 07කට අදාළව ය. මේ අතර සැකකාර කංජිපානි ඉම්රාන් විදේශ ගතව සිටියදී දුරකතන මාර්ගයෙන් පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජන කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ අද කැඳවනු ලැබී ය. එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළේ, සැකකරුගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහා ඔහු ලබන 19 වන දා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ය.