"ඉරානය සමග යුද වැදීමට අවශ්‍ය නැහැ"

"ඉරානය සමග යුද වැදීමට අවශ්‍ය නැහැ.." - ජනපති ට්‍රම්ප්

by Staff writer 17-09-2019 | 8:13 AM
COLOMBO (News 1st) : සෞදි අරාබියට එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බව විශ්වාස කරන නමුත් ඉරානය සමඟ යුද වැදීමට අවශ්‍ය නැතැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, මෙම ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බව නිශ්චිතව තහවුරු කර ගැනීමට තවදුරටත් සාක්ෂි ගොනු කළ යුතු බවයි. අමෙරිකාවේ යුද ශක්තිය ලොව අන් සියලු රටවලට වඩා ප්‍රභල වුවත් කිසිඳු රටක් සමඟ යුධ වැදීමට තමන් සූදානම් නොමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් අවධාරණය කළේ ය. සෞදි අරාබියට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් මෙන්ම යුරෝපීය රටවල් සමග ද සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බව ජනපති ට්‍රම්ප් කියා සිටියේ ය. මේ අතර සිය බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා සිටියා . සෞදි අරාබියේ විදේශ අමාත්‍යංශය ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින ලෙසයි. ලොව විශාලතම බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයට හානි කර සෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදනයෙන් අඩක්ම බිඳහෙලූ මෙම ප්‍රහාරය එල්ලකිරීමට ඉරාන ආයුධ භාවිත කර ඇතැයි අමෙරිකාව මීට පෙර තහවුරු කළේ ය. සිය භූමිය ආරක්ෂා කර ප්‍රහාරකයන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තමන් සතු බවද සෞදි අරාබිය කියා සිටියේ ය. මේ අතර සෞදි අරාබියට එල්ලවූ ප්‍රහාරයෙන් ගෝලීය බොරතෙල් සැපයුමට සිදුවු බලපෑම හමුවේ ලොව බොරතෙල් මිල ගණන් 19 %ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 1991 වසරේ ගල්ෆ් යුධ සමයෙන් පසුව බොරතෙල් සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තාවූ මුල් අවස්ථාව මෙය බවයි. සෞදි අරාබියේ බොරතෙල් සැපයුම බිඳවැටීම , ගල්ෆ් යුද්ධය හමුවේ 1990 වසරේ කුවේට් සහ ඉරාකයේ බොරතෙල් සැපයුම අඩපණවීමෙන් සහ ඉස්ලාමීය විප්ලවය හේතුවෙන් 1979 වසරේ ඉරාන බොරතෙල් නිෂ්පාදනය අඩපණවීමෙන් , ගෝලීය බොරතෙල් සැපයුමට එල්ලවූ බලපෑම ඉක්මවා යන බව ද වෙළඳපොළ විශ්ලේෂකයෝ සඳහන් කළහ.