අධිකරණ නියෝග නොතැකූ පාලිත ඇතුලු පිරිසට ඇප

පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිස ඇප මත මුදා හැරේ

by Staff writer 16-09-2019 | 1:49 PM

COLOMBO ( News 1st ) -  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුලු 06 දෙනෙකු ඇප මත මුදා හැර  තිබේ.

ඒ, එම පිරිස මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 10 වැනිදා පෙරවරුවේ අධිකරණයට භාර වීමෙන් පසු මතුගම මහේස්ත්‍රාත් එන්.එච්.එච් හල්පන්දෙණිය මහතා පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිස අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය. ඒ, අධිකරණ නියෝග කඩ කරමින් මළ සිරුරක් භූමිදානය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙනි. තෙබුවන පොලිස් වසමේ ට්‍රොයිට් වතුයායේ මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම වත්තේ භූමිදානය කිරීම වළක්වමින් අධිකරණය දී තිබූ නියෝගයක් කඩ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස දේහය වළ දැමූ බවට චෝදනා එල්ල විය.