අගමැති, ජනපති කොමිසමෙන් පිටව යයි

කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ලබාගෙන ඇත්තේ ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් පරිබාහිරිව බව හෙළිවෙයි

by Staff writer 16-09-2019 | 5:43 PM

COLOMBO (News 1st) - වත්මන් ආණ්ඩුවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර ඉන් පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි. උදෑසන 9.30 ට සාක්ෂි විමසීම ආරම්භ වූ අතර පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, අනතුරු අග්‍රාමාත්‍යවරයා ජනපති කොමිසමෙන් පිටත්ව ගිය අතර යළි පස්වරු 1.30 ට සාක්ෂි ලබා දීම සඳහා පැමිණි බවයි. සාක්ෂි විමසීමේදී අනාවරණය වී ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ රාජ්‍ය ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් පරිබාහිරිව බවයි. මෙම ගනුදෙනුව සඳහා රජයට ‍රුපියල් බිලියන දෙකකුත් මිලියන 100 කට ආසන්න මුදල් වැය වී ඇතැයි අද අනාවරණය විය. අප වාර්තාකරු පැවසුවේ, බලාපොරොත්තු වූ ප්‍රතිඵල වියදම් කළ මුදලින් ලැබී නොමැති බව අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබා දෙමින් පිළිගත් බවයි. එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුමට එළඹ ඇත්තේ මූල්‍ය රෙගුලාසිවලට පරිබාරිව බව ද අද කොමිසම හමුවේ අනාවරණය විය. අග්‍රාමාත්‍යවරයා ලබා දුන් සාක්ෂි අනුව අනාවරණය වූ තව ත් කරුණක් වන්නේ අදාළ බදු ගිවිසුමට නීතිපති අනුමැතියක් ද ලැබී නොමැති බවයි.