අළු බදුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

අළු බදුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

by Staff writer 16-09-2019 | 10:53 AM
COLOMBO (News 1st) : වසර 47 කට පසු එංගලන්ත - ඔස්ට්‍රේලියා අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ දෙරට අතර පැවැති අවසන් හා පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 135 කින් ජය ගැනීමත් සමගයි. එංගලන්තය අවසන් තරගය ජය ගැනීමට සමත් වුවද එය තරගාවලියේ ජයග්‍රහණයට ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු අතර අවසන් වරට අළු බඳුන ශූරතාව ජය ගත් ඔස්ට්‍රේලියාවට එය තවදුරටත් තමන් භාරයේ පවත්වා ගැනීමට හැකි වේ. තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා පන්දුවාර 87 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294 කි. අනතුරුව සිය පළමු ඉණිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට පන්දුවාර 68 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 225 ක් පමණි. ඔස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 69 ක් ඉදිරියෙව් සිය දෙවැනි ඉනිම ඇරඹි එංගලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 95 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 329කි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 399 කි. එම ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට පන්දුවාර 77 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 263 ක් පමණි. අළු බදුන ටෙස්ට් තරගාවලිවලදී අඛණ්ඩව අර්ධ ශතක 10 ක් වාර්තා කරගෙන සිටි ස්ටීවන් ස්මිත් ලකුණු 23 කට දැවී ගිය අතර මිචෙල් මාෂ් ලකුණූ 24 ක් රැස් කළහ. සිය සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කළ මැතිව් වේඩ් ලකුණු 117 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ජැක් ලීච් සහා ස්ටුව්ර්ඩ් බෝඩ් කඩුළු 4 බැගින් දවා ගත් අතර ජෝ රූට් කඩුළු 2 ක් දවා ගත්හ. ඒ අනුව මෙවර අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නිමාවට පත්වුණේ, දෙපිලම තරග 2 බැගින් ජය ලබා ගෙන සිටියදීයි. 1972 වසරෙන් අනතුරුව අළුබදුන ටෙස්ට් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු අවස්ථාව මෙය වේ. තරගාවලියේ දී ලකුණු 441ක් සහ කඩුලු 8ක් බිද හෙලූ බෙන් ස්ටෝක්ස් එංගලන්තය වෙනුවෙන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබී ය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 774ක් රැස් කළ ස්ටීවන් ස්මිත් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ය.