එජාප ඇමතිවරු හා සම්බන්ධන් අතර හමුවක්

"අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මත සහය දීම සලකා බලනවා" - ආර්.සම්බන්ධන්

by Staff writer 16-09-2019 | 1:50 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ සිදුව තිබේ.

ඒ, කොළඹ පිහිටි ආර්.සම්බන්ධන් මහතාගේ නිවසේ දී ය. අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තමන් සමඟ සාකච්ඡා කළ බව ආර්.සම්බන්ධන් මහතා සදහන් කළේ ය. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම හමුවට එක්ව තිබේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත්, ඊට දෙමළ ජාතික සන්ධානයේ ද සහය ඉල්ලා සිටි බවත් ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂය සිය අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව සාකච්ඡා කළ හැකි බව තමන් ඔවුන්ට දැන් වූ බව ය. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව අනුව සහය දීම පිළිබඳව සලකා බැලීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව ද මෙහිදී සම්බන්ධන් මහතා පවසා තිබේ.