අද සිට කොළඹ අහසේ වැජඹෙන ලාංකීය අභිමානය...

by Staff writer 16-09-2019 | 5:17 PM

COLOMBO (News 1st ) - කොළඹ අහස සිඹින දකුණු ආසියාවේ උසම කුළුණ අද ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට සුළු මොහොතකට පෙර නෙළුම් කුළුණ පරිශ්‍රයට පැමිණි ජනාධිපතිතුමා විසින් එය විවෘත කරනු ලැබිණි. මෙම අභිමානවත් උත්සවයට මැති ඇමති ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ. ලෝකයේ රටවල් රැසක් මෙන්ම ආසියාතික රටවල් බොහෝමයක් නිබඳ සංචාරක ආකර්ශනය දිනාගත් එවැනි කුළුණු කිහිපයකට හිමිකම් කියයි. එහෙත් නෙළුම් කුළුණ ලංකාවෙන් අහසට නැගෙන්නේ, දකුණු ආසියාවම පරැද වූ අභිමානයක් ද එක්කරමින් ය. එය ලොව උසම කුළුණු අතර ද 19 වෙනි ස්ථානයට උරුමකම් කියයි. මීටර 356.3 ක උසකින් යුක්ත නෙළුම් කුළුණ ඉදිකෙරුණේ, ඩොලර් මිලියන 104.5ක මුදලක් වැය කරමිනි. ඉන් ඩොලර් මිලියන 67ක් චීන බැංකුවකින් ලබාගත් ණයක් වන අතර ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් වැය කෙරිණි. කරකැවෙන අවන්හල්, වෙළඳසැල්, සාප්පූ සංකීර්ණ මෙන්ම සංස්කෘතිකාංග ආදියට භාවිත කළ හැකි විශේෂ වේදිකාවක් ඊට එක්කර තිබේ. මෙහි තව ත් විශේෂත්වයක් වන්නේ, අධිසුඛෝපභෝගී නිදන කාමර 6 ක් ද ඉදිකර තිබීමයි. කුළුණේ නෙළුම් මල සහිත කොටස මහල් 8 කින් සමන්විත අතර එහි 6 වන සහ 7 වන මහල් වෙන් කර ඇත්තේ ගුවන් විදුලි හා රූපවාහිනී ඩිජිටල් සම්ප්‍රේෂණ කටයුතු සඳහා ය. ඒ අනුව මෙරට රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලට බස්නාහිර පළාත වෙත තම විකාශයන් ඩිජිටල් සම්ප්‍රේෂණ තාක්ෂණය භාවිතා කරමින් ලබාදීමට මින් හැකි වේ.