අගමැති වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට

UPDATE : අගමැති රනිල් වංචා දූෂණ සෙවීමේ ජනපති කොමිසම හමුවට

by Staff writer 16-09-2019 | 7:59 AM

UPDATE : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියේ ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වංචා දූෂණ පිළිබඳව විමර්ෂණය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දීම සදහා ය. ප්‍රශ්න කිරීම් හමුවේ අගමැතිවරයා සඳහන් කළේ, තමා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුව වෙනුවෙන් බවයි. නමුත් කිසියම් හෝ වැරදි තීරණයක් රාජ්‍ය ආයතනයක් විසින් ගනු ලබනවා නම් එය නිවැරදි කිරීමට රටේ දෙවැනි පුරවැසියා ලෙස අගමැතිවරයාට වගකීමක් පවතින බව කොමිසන් සභාවේ සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ ය. සාක්ෂි ලබා දීමෙන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ජනපති කොමිසමෙන් පිටත්ව ගොස් ඇති අතර යළි අද පස්වරු 1.15ට අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.  
COLOMBO (News 1st): අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ජනපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා ඇති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබුණ ද, මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී නොසිටියේ ය. ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, අද දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමටයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ ඇත්තේ, කරන්දෙණිය සුබ සාධක සංගමයේ සාමාජිකයෙකු විසිනි. මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ නිලධාරීහු කිහිපදෙනෙක් ද සාක්ෂි ලබාදුන්හ.