සජිත් හා එ.ජා.පෙ පක්ෂ නායකයින් අතර හමුවක්

සජිත් ප්‍රේමදාස හා එ.ජා.පෙ පක්ෂ නායකයින් අතර හමුවක්

by Staff writer 15-09-2019 | 9:59 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක් ඊයේ රාත්‍රීයේ දී පැවැත්වුණි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේ දී පැවති මෙම සාකච්ඡා ආරම්භ වූයේ රාත්‍රි 9.30ට පමණ ය. මෙම සාකච්ඡාවට පෙර පක්ෂ නායකයින් කොළඹ වෙනත් ස්ථානයක ද සාකච්ඡාවක නිරත වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, චම්පික රණවක, පී. දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මීට එක්වූහ. පැයකට අධික කාලයක් අදාළ සාකච්ඡාව පැවැත්වුණි. එමෙන්ම මෙම සාකච්ඡාවේ දී තීරණාත්මක තීරණ කිහිපයකට එළැඹි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ය.