සෞදියේ දෛනික බොර තෙල් නිෂ්පාදනය 50% කින් පහළට

ප්‍රහාර එල්ල වූ සෞදියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 15-09-2019 | 7:39 AM

News 1st - ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ මධ්‍යස්ථාන දෙකේ ගෑස් සහ ඉන්ධන පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සෞදි අරාබිය පවසයි.

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරු සඳහන් කළේ, ඒ සමග දෛනික බොර තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5.7 කින් අඩුවන බවයි. එය, සෞදි දෛනික බොර තෙල් නිෂ්පාදනයෙන් 50% ක ප්‍රතිශතයකි. ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ එරට රාජ්‍ය තෙල් සමාගමට අයත් ඇබ්ක්වයික් සහ කුරයිස් ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවල හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. ගෝලීය ඉන්ධන අවශ්‍යතාවෙන් 7% ක් සපයන්නේ ඇබ්ක්වයික් පිරිපහදු මධ්‍යස්ථානයෙනි. කුරයිස් පිරිපහදු මධ්‍යස්ථානයෙන් ලෝක ඉන්ධන අවශ්‍යතාවෙන් 1% ක් සපයයි. ප්‍රහාර එල්ල කර ඇත්තේ යේමනයේ හූති කැරලිකරුවන් ය. ප්‍රහාර සඳහා ඩ්‍රෝන 10 ක් උපයෝගී කරගත් බව ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් හූති කැරලිකරුවන් නිවේදනය කර තිබේ. සෞදිය අදාළ මධ්‍යස්ථාන දෙකේ ඉන්ධන පිරිපහදු කටයුතු නතර කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසති.