දේශගුණ වෙනස්වීම් හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු රෝග ව්‍යාප්තියට දේශගුණ වෙනස්වීම් හේතුවී ඇතැයි විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවෙයි

by Staff writer 15-09-2019 | 7:25 AM

COLOMBO (News 1st) - දේශගුණ වෙනස්වීම් හේතුවෙන් ඩෙංගු රෝගය ඇතුළු මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව නවතම විද්‍යාත්මක පර්යේෂණවලදී හෙළිව තිබේ.

දේශගුණ විපර්යාස හා මදුරුවන්ගෙන් බෝවන රෝග ව්‍යාප්තිය පිළිබඳව පැවති ජත්‍යන්තර සමුළුවකදී මෙම කරණු අනාවරණය විය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධාන කළ මෙම සමුළුව පසුගිය සඳුදා සිට දින 05 ක් පවත්වනු ලැබුවේ නේපාලයේ කත්මණ්ඩු නුවරදීය. ඊට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 11ක නියෝජිතයින් සහභාගී වූ අතර ඔවුන් විසින් මදුරුවන්ගෙන් බෝවන රෝග පාලනය පිළිබඳ තම රටවල අත්දැකීම් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ දැනුවත් කර තිබේ. සමුළුවට සහභාගී වී සිටින ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෙරට ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා මෙම අනාවරණ කිරීම් පාදක කර ගන්නා බවයි. උෂ්ණත්වය හා වර්ෂාව වෙනස්වීම හේතුවෙන් වරින්වර මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය පසුගිය වසරවල ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේ ය. ඒවා පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාව ද සමුළුවේදී අවධාරණය කළ බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.