ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 15-09-2019 | 12:17 PM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලීසිය සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරුවන් දෙදෙනෙකු ඇතුළු පිරිසකට එම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව එම ස්ථාන මාරුවීම් ලබාදී ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම් ගුණරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති කෑගල්ල දිසාවේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. නියෝජ්‍ය පොලිස්පති පී. මුණසිංහ මහතා සබරගමුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ත්‍රීකුණාමල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. කේ. සී අතුකෝරල මහතා පොලිස් සුබ සාධක කොට්ඨාසය වෙත මාරු කර ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ කේ. ඩී. යු හේමන්ත මහතා ත්‍රීකුණාමලය කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස පත් කර ඇත. පොලිස් අධිකාරි ජී. ජේ නන්දන මහතා රත්නපුර කොට්ඨාසයේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස පත් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. පොලිස් මූලස්ථානය පැවසුවේ, මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.