කාලගුණය අයහපත් : ප්‍රදේශ රැසකට තද වැසි

කාලගුණය අයහපත් : ප්‍රදේශ රැසකට තද වැසි

by Staff writer 15-09-2019 | 9:57 PM
COLOMBO ( News 1st ) - බස්නාහිර , සබරගමුව , දකුණ සහ වයඹ පළාත්වලට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ, ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව ය. එමෙන්ම අද පෙරවරු 8.30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය. එහි අගය සටහන් වූයේ මිලිමීටර් 87ක් ලෙසට ය. එම කාල සීමාව තුළ ගාල්ල, අගුණුකොලපැලැස්ස සහ කිරන ප්‍රදේශවලට මිලිමීටර් 60 ඉක්ම වූ වැසි ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල යෙදීම අවධානම් බව ධීවර දෙපාර්තමේන්තුව එක්දින ධීවර යාත්‍රාවලට දැනුම් දෙයි. ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන බහුදින ධිවර යාත්‍රා ද ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මේ අතර ගාල්ල නගරයට ඊයේ රාත්‍රියේ සිට දැඩි වර්ෂාපතනයක් ඇඳ හැලෙමින් පවතී. මේ හේතුවෙන් ගාල්ල බද්දේගම, ගාල්ල මාපලගම යන මාර්ගවල රථවාහන ධාවනයට බාධා මතු විය. අද අලුයම සිට මාතර දිස්ත්‍රික්කයට දැඩි වර්ෂාපතනයක් පවතින අතර මාතර ප්‍රදේශ රැසක ධීවරයින් අද මුහුදු යාමෙන් ද වැළකී සිටියා ය. මේ අතර දින කිහිපයක සිට හපුතලේ ප්‍රදේශයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින අතර හපුතලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට ද ඉන් බලපෑම් එල්ලව තිබේ. අධික වැසි සහිත අවස්ථාවල අධිවේගී මාර්ගවල ධාවන වේගය පැයට කිලෝමීටර් 60 සීමාවේ පවත්වා ගන්නැයි රියදුරන්ට උපදෙස් ලබා දේ. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ ඕපනායක මහතා ප්‍රකාශ කළේ, එම අවස්ථාවල වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු ද දැල්විය යුතු බවයි.