මුදල් ඇමතිගෙන් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝගයක්

ඇමතිගේ අනුමැතියකින් තොරව සුරාබදු බලපත්‍ර දී ඇති බවට අනාවරණයක්

by Staff writer 15-09-2019 | 4:29 PM

COLOMBO ( News 1st ) - සුරාසල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර සති 2ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍යවරයා සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, විෂය භාර අමාත්‍යවරයා ලෙස තම අනුමැතියකින් තොරව බලපත්‍ර නිකුත් කර ඇති බවට ලැබුණු තොරතුරු සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම නියෝගය කළ බවයි. ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සති 2ක් ඇතුළත අමාත්‍යවරයා වෙත යොමු කළ යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. පසුගිය 2017 සහ 2018 වර්ෂවල දී අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව නව සුරාබදු බලපත්‍ර 84ක් ලබා දී ඇති බව අනාවරණ වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය සඳහන් කළේ, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයාට දැනුම්දීම සිදු කළ යුතු බවයි. මේ අතර සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි. සුමනසිංහ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයාගේ නියෝග පරිදි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය. එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ, නව නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ලබා දී නොමැති බවයි. සුරාබදු පනත අනුව සුදුසුකම් නොමැති අයට බලපත්‍ර ලබා දී ඇත්නම් හෝ බලපත්‍ර ලබාදීමේ දී යම් දූෂණයක් සිදුව ඇති බවට පරීක්ෂණවල දී තහවුරු වුවහොත් එවැනි බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව ඔහු සඳහන් කරයි.