අගමැති රනිල් හෙට ජනපති විමර්ශන කොමිසම හමුවට

අගමැති රනිල් හෙට වංචා දූෂණ සොයන ජනපති කොමිසම හමුවට

by Staff writer 15-09-2019 | 6:45 PM

COLOMBO ( News 1st ) - වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙනී සිටීමට නියමිත ය. 

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා ඇති බව ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද මන්නාරම ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් ඇති බව දන්වමින් එදින කොමිසම හමුවේ පෙනී සිටියේ නැත. ඒ අනුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේ, හෙට දින අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමේ සිතාසි යළි නිකුත් කිරීමට ය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට උදෑසන 9.30ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇතැයි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ කරන්දෙණිය සුබසාධක සංගමයේ සාමාජිකයෙකි. මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව මීට පෙර අග්‍රාමාත්‍ය සමන් ඒකනායක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් බී. විජේරත්න යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙක් ද සාක්ෂි ලබාදුන්හ.