මැතිවරණ කොමිසම ලබන 20 වන දා රැස්වෙයි

ජනාධිපතිවරණය ගැන තීන්දු කිහිපයක් ගන්න මැතිවරණ කොමිසම රැස්වීමට සැරසෙයි

by Staff writer 14-09-2019 | 11:31 AM

COLOMBO (News 1st) - මැතිවරණ කොමිෂන් සභාව ලබන 20 වන දා රැස්වීමට නියමිත වේ.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජිකයින් වන මහාචාර්ය රත්න ජිවන් හුල්, ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොමිසම රැස්වන බවයි. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමේ අරමුණින් මෙලෙස කොමිසම රැස්වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර එදිනට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ. පෙරවරු 10.30 ට ආරම්භ වන එම රැස්විමේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිත බව කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 17 වන දා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.