අජිත් පී.ගේ සහ සුජීව සේනසිංහගේ එ.ජා.ප. සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක්

by Staff writer 14-09-2019 | 6:44 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වේ. අද ජාතික පුවත්පත් කිහිපයකම දැක්වෙන්නේ, කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී.පෙරේරා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටු විය යුතු බවට එ.ජා.ප. විනය කමිටුව තීරණය කර ඇති බව ය. ඒ අනුව විනය කමිටුවේ තීරණය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමෙන් අනතුරුව ඒ පිළිබඳව නැවත සලකා බලා ස්ථීර තීන්දුවක් ගැනීම සිදු කෙරෙන බව අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය. අද තවත් සමාජ මාධ්‍ය කීපයක් වාර්තා කළේ, තවත් එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකුට එරෙහිව ද විනය පියවරක් ගැනීමට සූදානම් බවයි. මේ අතර අමාත්‍ය කබීර් හෂීම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද මාවනැල්ලේදී කබීර් හෂිම් මහතාගෙන් විමසීමක් කළේ ය‍.