සජිත් ජනපති අපේක්ෂකයා විය යුතුයි..! - මනෝ ගනේෂන්ගෙන් ප්‍රකාශයක්

by Staff writer 13-09-2019 | 6:38 PM

COLOMBO (News 1st) - ජනාධිතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බව මනෝ ගනේෂන් ඇමතිවරයා අවධාරණය කරයි.

ඇමතිවරයා ප්‍රමුඛ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානයේ හවුල්කාර පක්ෂයකි. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්,
බෙදීමක් නැතුව යම් කිසි තැනකට එන්න ඕනෑ බව අපි කව්රුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමුන් තරග කරොත් තමා අපේ සන්ධානයක් ලෙස ජයග්‍රහණය කළ හැකි බව සජිත් ප්‍රේමදාස මහත්තයා තරයේ විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන අය එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් අතරත් තියෙන බව මම දන්නවා මොකද ඒ අය ලියුම් අත්සන් කරලා දීලා තියෙනවා. සන්ධානය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා තරග කළ යුතු වෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඒ සම්බන්ධයෙන් අනිකුත් පක්ෂ එක්කත් කතා කරලා තියෙනවාද මේ ස්ථාවරය සම්බන්ධව ?
අමාත්‍ය මනෝ ගනේෂන්,
නෑ.. නෑ.. ඒක දන්නේ නෑ.. ඇත්තටම නිල සාකච්ජාව හෙට පැවැත්වීමට නියමිතයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
හෙට දවසේ වෙලාවක් තීරණය වෙලා තියෙනවා ද?
අමාත්‍ය මනෝ ගනේෂන්,
නෑ.. වෙලාවක් තීරණය වෙලා නෑ. ඒක තමයි සාකච්ජා කරමින් සිටින්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔබතුමා සහ සජිත් ප්‍රේමදාස මහත්තයා ද තව කවුරුන්ද ඉන්නේ.
අමාත්‍ය මනෝ ගනේෂන්,
තව අනෙක් කොටස්කාර පක්ෂ නායකවරු ඉන්නවා. රවුෆ් හකීම්, බදියුදීන්, චම්පික රණවක ඔක්කොම ඉන්න එපැයැ. එක්සත් ජාතික පෙරමුණ කියන්නේ මම විතරක් නෙවෙයිනේ.