මහපොළ අක්‍රමිකතා ගැන කේ.ශ්‍රීපවන්ගෙන් සාක්ෂි විමසයි

by Staff writer 13-09-2019 | 8:56 PM

COLOMBO ( News 1st )  මහපොළ භාරකාර අරමුදලට අයත්ව තිබූ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බදු දීමට අදාළ ගිවිසුම් ව්‍යාජ ගිවිසුම් බවත්, තමන් ඊට විරුද්ධ වූ බවත් හිටපු අගවිනිසුරු කේ ශ්‍රී.පවන් මහතා සඳහන් කර තිබේ.

ඒ, වත්මන් ආණ්ඩුවේ වංචා හා දූෂණ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි. මහපොළ භාරකාර අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඊයේ පස්වරු 3 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ ය. මහපොළ භාරකාර අරමුදලේ සභාපතිත්වය නිල බලයෙන් අගවිනිසුරුවරයාට හිමි වේ. හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක දැක්වෙන්නේ, මහපොළ භාරකාරීත්වය යටතේ පැවති මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය 2015 වසරේදී මහපොළ අරමුදලට අනුබද්ධව ආරම්භ කළ මහපොළ ගැරන්ටි නම් සමාගමකට පැවරීමෙන් මහපොළ අරමුදලට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමිවී ඇති බවයි. ඊට අදාළව අත්සන් කරන ලද බදු ගිවිසුම් නීත්‍යානුකූල නොවන්නේයැයි, කේ. ශ්‍රීපවන් මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් පවසා තිබේ. නමුත් එවකට භාරකාර මණ්ඩලයේ සිටි ආචාර්ය වික්‍රමවීරසුරිය මහතා, ඔවුන් අමාත්‍යවරයාගේ පත්වීම් අනුව පැමිණි බැවින්, එම ගිවිසුම් අත්සන් කිරීමට බලයක් ඇති බව පවසා ඒවා අත්සන් කර තිබෙන බව ද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර තිබේ. අමාත්‍යවරුන් වශයෙන් මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකත්වය දැරූ ආචාර්ය සරත් අමුණුගම හා ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් අදාළ බදු ගිවිසුම් සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක් වූ බවද හිටපු අගවිනිසුරුවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.