ජයගත හැකිනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, බැරිනම් පිටවී යනවා - අගමැති

by Staff writer 13-09-2019 | 7:35 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේත් ඔහුට සමීප පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡා කර තිබේ.

රාජගිරියේ කෘෂිකර්ම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගනුදෙනුව ගැන කෙරෙන විමර්ශනයට අදාළව කරුණු විමසීමට ජනාධිපති කොමිසම ඊයේ අගමැතිවරයා කැඳවා තිබුණි. නමුත් ඒ සඳහා පැමිණීමට නොහැකි බව කොමිසමට ඔහු දන්වා තිබුණේ මන්නාරමේ යාමට ඇතැයි පවසමිනි. ඊයේ මන්නාරම බලා පිටත්ව යාමට පෙර කැලණිය හා බියගම ප්‍රදේශයේ සමීපතමයින් අරලියගහ මන්දිරයට කැඳවූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පලකළ අදහස් අද පුවත්පත් කිහිපයක්ම වාර්තාකර තිබුණි. ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකි නම් පිටවී යන බවත් වික්‍රමසිංහ මහතා මේ හමුවේදී පැවසූ බව පුවත්පත් වාර්තාවල සඳහන් විය. එම වාර්තාවල දැක්වුණේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පක්ෂයත් එහි මූලිකත්වයෙන් පිහිටුවන සන්ධානයත් දිනවීම සිය යුතුකම බවත්, එය ඉටු කළ නොහැකි නම් පිටවී යාම ගැටලුවක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ හමුවේදී ප්‍රකාශ කළ බවයි. වයස 70 වන තෙක් දේශපාලනයේ තනතුරු දැරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම යාම අසීරු දෙයක් නොවන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර කැලණිය, බියගම එක්සත් ජාතික පක්ෂයේ පැරණි ක්‍රියාකාරීන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ගැන අදහස් පළ කළේ ය. බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී, සිඩ්නි මෙන්ඩිස්
ගරු අගමැතිතුමණි, මම ඔබතුමාගෙන් පළමුවෙන්ම දැනගන්න කැමතියි ඔබතුමත් එක්ක කතා කරපු 77 ජ්‍යෙෂ්ඨයෝ කව්ද කියලා. නමුත් ඔය ජ්‍යෙෂ්ඨයෝ එක්කෙනෙක්වත් හිටියේ නෑ ගියවතාවේ පැවති පළාත් පාලන මැතිවරණයේ. ජ්‍යෙෂ්ඨයෝ අපි තමයි හිටියේ. ඔය එන අය ඔබතුමා කවදා හරි ස්ථානයකට ආවාම ඉස්සරහ පුටුවේ වාඩිවුණ ජ්‍යෙෂ්ඨයෝ වෙන්න ඇති. නමුත් ඔය අය ගමක් ගමක් ගානේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් ඡන්දේ ඉල්ලගෙන අපේ එක්සත් ජාතික පක්ෂය දිනවපු ජ්‍යෙෂ්ඨයෝ නෙවෙයි. ඒ අය ඉන්නේ ගමේ. පුළුවන් නම් ඒ අය ඔබතුමා ගෙන්වලා අහන්න මොකද්ද කෙරෙන්න ඕනෑ කියලා. එතනදී කියයි කෙරෙන්න ඕනෑ විදිහ. ගරු අගමැතිතුමණි, අද ගමේ තියෙන්නේ ප්‍රධානම දේ මේ වෙලාවේ අපේ පක්ෂය දිනවන එකයි. ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහත්තයාට දීලා ඒක දිනවලා ඔබතුමාට නායකත්වය අගමැතිකම තියෙනවා. ඒකට අපි ගෞරව කරනවා. ඔබතුමා දැක්කනේ ඔබතුමාගේ යාපනය රැස්වීමේදී දෙමළ තරුණයින් තුන්දෙනෙක් කෑගැහුවේ සජිත් අපිට ඕනෑ කියලා.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය, අජිත් පී.පෙරේරා
මට තේරුම් යන දේ තමයි එතුමා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි දක්ෂ ජනප්‍රිය කෙනෙකුට ඉඩ දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියන එක. ඊට වඩා දෙයක් මට නම් තේරෙන්නේ නෑ. මගේ කියවීම වැරදි වෙන්න පුළුවන්.