ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රමාද ඇයි ?

by Staff writer 13-09-2019 | 7:59 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය ගැන නීතිඥ සංවිධාන ජාතික එකමුතුව අද මොරටුවේදී ප්‍රශ්න කර තිබේ.

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ,
මැතිවරණ කොමසාරිස්තුමා මතක තියාගන්න ඕන එතුමා දේශපාලනඥයෙක් නෙමෙයි. එතුමාට බෑ මේ ප්‍රකාශයක් කරලා මේ එක එක කතන්දර කරන්න. මේවට තියනවා රටේ නීතියක්. මේ තියෙන්නේ 1981 අංක පහලොව දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනත. දැන් මේ පනතේ නිශ්චිත දින වකවාණු තියනවා. නිශ්චිත ප්‍රතිපාදන තියනවා ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන්. මැතිවරණ කොමසාරිස්තුමා කතන්දර කියන්න දක්ෂයි නේ. එතුමාගේ කතන්දරවලින් මේ රටේ ජනතාවට වැඩක් නෑ. මැතිවරණ කොමිසමේ කොමසාරිස්තුමා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය කලයින් පස්සේ තමයි මැතිවරණ කොමිසමට බලය ලැබෙන්නේ ඕනෑම ක්‍රියාකාරකමක් කරන්න. විශේෂයෙන්ම පොලීසියේ නිලධාරීන් මාරු කිරීම, රාජ්‍ය නිලධාරීන් තමන්ට ඕන තැන්වල ස්ථානගත කිරීම, ඒ සියල්ල පාලනය කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙන්න නම් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත යටතේ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි නාම යෝජනා කැඳවීමේ හා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමේ. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මොකද්ද කරන්නේ එතුමා මාධ්‍යයට බේරෙන්න මේ රටේ ජනතාවට බේරෙන්න පොඩි පොඩි කතන්දරයක් කියනවා. ඒක නිසා අපි කියන්න කැමතියි මැතිවරණ කොමසාරිස් තුමනි කතන්දර ආතා කෙනෙක් විදියට තවදුරටත් ඔබතුමා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ රටේ ජනතාවට පෙන්වන්න ඔබතුමා වැඩ කරන නිලධාරියෙක් කියලා.