රාජ්‍ය පරිපාලන සේවා වැඩවර්ජනය අවසන්

රාජ්‍ය පරිපාලන සේවා වැඩවර්ජනය අවසන්: අනධ්‍යයන සේවකයින් තවදුරටත් වර්ජනයේ

by Staff writer 12-09-2019 | 6:25 AM
COLOMBO (News 1st) : වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ. ඒ, ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, ඉදිරි සතිය තුළ සිය වැටුප් ගැටලුවට විසඳුම් දීමට එහිදි එකඟවූ බවයි. දින දෙකක් පුරා පැවති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, රාජ්‍ය ආයතන රැසක කටයුතුවලට බාධා මතුවිය. ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන වලටයි. මේ අතර, වැටුප් ගැටලුව මුල් කරගනිමින්, විශ්වවිද්‍යාලයීය වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ ‍අඛණ්ඩ වැඩවර්ජනය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වේ. එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ, නිසි විසඳුමක් ලැබෙන තුරු සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.