හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ජනපති කොමිසම හමුවට

මහපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ජනපති කොමිසම හමුවට

by Staff writer 12-09-2019 | 7:40 PM

COLOMBO ( News 1st ) - හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා අද පස්වරුවේ වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය.

ඒ, තමන් සභාපති ධූරය දරණ කාලයේ මහපොළ භාරකාර අරමුදලේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සාක්ෂි ලබා දීම සඳහා ය. මහපොළ භාරකාර අරමුදලට අයත්ව තිබූ ඉඩමක ඉදිකළ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය වෙනත් සමාගමකට බදු දීමේදී ඇති වූ දුෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. 2017 හා 2018 කාලයේ සිදු වූ බව කියන එම දූෂණ ක්‍රියාව සිදු වන සමයේ නිල බලයෙන් මහපොළ භාරකාර අරමුදලේ සභාපති ධූරය එවක අගවිනිසුරු ධූරය හෙබ වූ කේ. ශ්‍රීපවන් මහතා දරණු ලැබුවේ ය. හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ. මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දුන් අදාළ බදු ගිවිසුම සකස් කළ බව කියන සමාගමේ නීතිඥවරියක පැවසුවේ, එම ගිවිසුමට අත්සන් තැබීම එවක අගවිනිසුරුවරයා ඉදිරියේදී සිදු වූ බව ය.