ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් කළ ඉල්ලීම

පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ගැන පරීක්ෂණයක් කරන්නැයි, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

by Staff writer 12-09-2019 | 7:57 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරයට පෙර පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා තිබේ. මෙම තරග සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීමක් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත විශ්වාසදායක ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී ඇති බවයි. මෙම තත්ත්වය යටතේ පකිස්ථානයේ සංචාරයට පෙර නැවත වරක් එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව සලකා බලන ලෙස තමන්ට උපදෙස් ලැබී ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ අතර පකිස්ථාන තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිව තිබේ. මේ අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි. පකිස්ථාන තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ප්‍රකාශයට පත් කළේ ය. ඒ අනුව ලහිරු තිරිමාන්න නායකත්වය දරන ඊට ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු. ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා සහ වනිදු හසරංග ඇතුළත් වෙති. එම එක්දින සංචිතයට එක්වන සෙසු ක්‍රීඩකයින් වන්නේ, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත සහ ලහිරු කුමාරයි. දසුන් ශානක පන්දුවාර 20යි 20 කණ්ඩායම මෙහෙයවන අතර ලහිරු තිරිමාන්න ඊට ඇතුළත්ව නොමැත. ක්‍රීඩකයින් 16 දෙනෙකු එම 20 යි 20 සංචිතයට ඇතුළත් අතර ඒ අනුව භානුක රාජපක්ෂ ට සහ ලහිරු කුමාරට අවස්ථාව හිමිව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම පකිස්ථාන සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කළේ ය. තරගාවලිය ලබන 27 වන දා සිට 9 වන දා දක්වා පකිස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.