ගෝඨාභයගේ පෙත්සමේ ඉල්ලීම්වලට අභියාචනාධිකරණයේ අවසර

ඇවන්ට්ගාඩ් නඩුවට එරෙහිව ගෝඨාභය ගොනුකළ පෙත්සමට අභියාචනාධිකරණයේ අවසර

by Staff writer 12-09-2019 | 1:12 PM
COLOMBO (News 1st) : තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ පෙත්සමේ ඉල්ලීම්වලට අභියාචනාධිකරණය අද අවසර දුන්නේ ය. ඒ, අල්ලස් කොමිසම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව පවරා ඇත්තේ එම කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව බැවින්, එම නඩුව පැවරීම නීත්‍යනූකූල නොවන ක්‍රියාවක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම පිළිගනිමිනි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව, පවත්වාගෙන යාමේ හැකියාවක් අල්ලස් කොමිසමට හිමි නොවේ. අභියාචනාධිකරණය අද දුන් තීන්දුව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණය දුන් නියෝගය මෙන්ම එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය ද අවලංගු කෙරිණ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම එම නඩුව පවරා ඇත්තේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකර තිබූ පෙත්සම මුල් අවස්ථාවේදීම සලකා බැලූ අභියාචනාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබිණ.