ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය හා සැකකරුවන් නිදහස්

ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් ගෝඨාභය ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස්

by Staff writer 12-09-2019 | 10:29 PM

COLOMBO (News 1st ) - ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සලකා බැලීමෙන් පසුව ය. මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව අභියෝගයට ලක් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණි. ඉන් අධිකරණයට පෙන්වා දී තිබුණේ, අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ අදාළ කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරය නොමැතිව බව ය. කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය. අධිකරණය දැනුම් දුන්නේ, සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි වන බව ය. මේ සම්බන්ධයෙන් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා මහාධිකරණයට ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් අභියාචනාධිකරණය එම නියෝගය ද අද අවලංගු කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවකාශය සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් ය.