හෙට කොමිසම හමුවට පැමිණිය නොහැකියි - අගමැති

හෙට ජනපති කොමිසම හමුවට පැමිණිය නොහැකි බව අගමැති දන්වයි

by Staff writer 11-09-2019 | 12:13 PM
COLOMBO (News 1st) : වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තමන්ට හෙට දිනයේ පෙනී සිටීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසමට දැනුම් දුන් බවයි. මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින්, මෙම දැනුම්දීම සිදුකර තිබේ. ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කළ බව එම කොමිසම ප්‍රකාශ කළේ ය. කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා තිබේ. මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති කොමිසම හමුවේ අද දින සාක්ෂි ලබා දුන්නේ ය. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතාට එරෙහිව කරන විනය පරීක්ෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහායි. අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පැය එක හමාරකට අධික කාලයක් සාක්ෂි ලබා දුන් බව ද, ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.