by Staff writer 11-09-2019 | 6:25 PM
COLOMBO (News 1st) - විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රයේ පෙළගැස්ම අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති අභියාචනය විභාගයට ගැනීමට අවසර ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන් කෝටි 39 ලක්ෂයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් ගොඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අද දින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම්කාර පාර්ශවය හා නීතිපතිවරයාගේ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුව බහුතර තීරණය මත මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබූ එම අභියාචනය සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශන සිදු කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධී අන්දමින් පොලිස්පතිවරයා විසින් ස්ථාපිත කළ පොලිස් කොට්ඨාසයක් බවට මේ වන විට විරෝධතා ඉදිරිපත් වී ඇති බැවින් එවැනි නීති විරෝධී ආයතනයක් කළ විමර්ශන ද නීති විරෝධී බව ය.
එලෙස කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සිය අභියාචනාව විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, එතෙක් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත විභාගයට ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාත් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති චෝදනා පත්‍රය පෙළගැස්සවීම සම්බන්ධයෙන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් හෝ අකටයුත්තක් සිදු වී නොමැති බව ය.
එබැවින් එම විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර ඇති ප්‍රධාන චෝදනාව වන කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඉතා බරපතළ චෝදනාවක් බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම අභියාචනාව විභාගයට ගැනීමට අවසර ලබා නොදෙන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ ය.
ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබන 15 වන දින සිට එම නඩුව විභාගයට ගැනීමට දින නියම කර ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.